Thursday, March 31, 2016

වියපත් කිරි සුවඳ

නෙතු යුග සමකොට හදා වඩා ගෙන
රුහිරය කිරි කොට රසට පොවා
නුඹ අඬනා විට ළයට තුරුලු කොට
නැලවූ හැටි මට සිහි වෙනවා

ලොකු මිනිසෙකු වී ලොවටම රජ වී
මවෙත රවා නුඹ ගිය දිනයේ
සතුටු කඳුලු මැද දුක දැනුනත් මට
ආසිරි පමණයි මම පැතුවේ

නැවතත් නුඹ අසරණවී මා වෙත
අම්මෙ කියාගෙන පැමිණි දිනේ
අසරණ පුතුනේ කෙළෙස රවන්නද
දැනෙනා කිරි සුවඳට දෙතොලේ

Monday, December 28, 2015

මැණික

දිවිමග පෙන්වන රන් තරු කැටයයි
නිවසේ ආලෝකය මිණි පහනයි
දෙවියන් අප වෙනුවෙන්ම මැවූ ඔබ
මැණිකක් මගේ පුතේ

ගිටාරයට හිත බෝමා
ගමනේ යන්නට ආසා
තාත්ත නුඹෙ ලෝකයේ වීරයා
ආඩම්බර මටනේ

බඩගිනි වූ විට අම්මා
දුක හිතුනාමත් අම්මා
රකවරණය සෙනෙහස ඔබ පතනා

විශ්වාසය ඇයනේ

Monday, August 31, 2015

රන් මිණි පහන

සිනහ වතින් මුව සරසා ළඟට              එන
ළඟටම ඇවිත් ඉඟි කොට නැවතත්      දුවන
සුරතල් බසින් අතොරක් නැතිව       කියවන
මගෙ පුත නුඹයි මගෙ ලොව රන් මිණි පහන

Sunday, March 22, 2015

ළමයා සහ ගුරුවරයා

ළමයා:

පැවරුම් ගොඩයි නිදියනවට       තරහයිද?
ටිකක් කොපි කළා ඇයි ඌ නොකෙරුවද?
ලකුණු අඩුයි ගෙනත් දෙන්නෙ ගෙදරින්ද? 
ගුරා උපන්නේ අපිටම               අරින්නද?

ගුරුවරයා (ගුරා/ගුරුතුමා):

පැවරුම් නොදුන්නොත් නුඹ වැඩ කරනවද?
වැරදි වැඩට පුහුණුව දෙන එක        හොඳද?
ලකුණු දෙන්න පචයක්වත්           ලියනවද?
අසමත් නුඹේ දුක මට නොම     දැනෙනවද?

Sunday, January 18, 2015

සැනසීම!

සේද වගේ දිලේනා ඝන අඳුරු වලා
දේදුනු වගේ ලස්සන විස මල්ද බලා
දියයට ගිණි කඳන් දැවෙනා ලොවට වෙලා
කෙලෙසට සැනසෙම්ද පුත නුඹ වඩිනු බලා

බැස ගිය ඉර!


මෙම කවිය වසර 2014, පෙබරවාරි මස මා විසින් ලියා මුණු පොතේ පල කරන ලද්දකි.
අඳුරු වලා පටල ඉරන්
ඉර පෑයූ උජාරුවට
දෙනෝ දහක් පින් දුන්නා
දුකඳුරු නිවෙනා පැතුමට

උදම් වෙලා හිරු මඬලත්
දහවල ළඟ ළඟ එනවිට
පෙන්වා සිය බල මහිමය
පෙලා දැමී අසරණ කැළ

පැතුම් සුන්ව ගිය සෙනඟක
මුවට නැගුන ශාප කඳට
අසරණයින් පිනෙන් නැගුනු
ඉර බැස යනු ඇත අවරට

මගේ පැතුම!

මගේ පුතා - හරි හපනා
ගුණ නැණ බල - නොඅඩු වෙතා
ලොවට වැඩක් - කරනු ඇතා
මැණිකක් වී - දිදුලන්නා